නීති විරෝධී ලෙස බීඩි කොළ මෙරටට හොරෙන් ගෙන්වීම හේතුවෙන් රජයට අහිමි වන විශාල බදු ආදායම වළක්වා ගැනීමටත්, මෙරට බීඩි කර්මාන්තයේ නියැලී සිටින සුළු පරිමාණ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමටත් කඩිනම් පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නිලධාරීන්ට දැඩිව උපදෙස් දී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වූ එම කාරක සභාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. බීඩි නිෂ්පාදනය සඳහා භාවිත කරන කොළ ආනයනය කිරීමේදී විශේෂ බද්දක් අය කෙරෙන නමුත්, එම බදු ගෙවීම පැහැර හරිමින් මුහුදු මාර්ගයෙන් විශාල වශයෙන් බීඩි කොළ තොග මෙරටට හොර රහසේ ගෙන එන බව මෙහිදී අනාවරණය වී තිබෙනවා. මේ සඳහා විවිධ වැටලීම් සිදු කළද, තවමත් ජාවාරම්කරුවන් නිසා රජයට ලැබිය යුතු නියමිත බදු ආදායමට දැඩි බලපෑම් එල්ල වන බවයි නිලධාරීන් පෙන්වා දෙන්නේ.
නීති විරෝධී ලෙස මෙලෙස බීඩි කොළ ගෙන්වා නිෂ්පාදනය සිදු කරන්නන්ගෙන් රජයට ලැබිය යුතු ආදායම නිසි පරිදි ලබා ගැනීමට නොහැකි වී ඇත. එබැවින් මෙම ජාවාරම සහමුලින්ම නැවැත්වීමටත්, රජයට ලැබිය යුතු බදු උපයා ගැනීමටත් විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙස කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝග කර සිටියා.














