ජාතික කෘෂිකාර්මික ස්වයංපෝෂිතභාවය ශක්තිමත් කිරීම උදෙසා ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම විසින් මෙරට ප්‍රථම වතාවට දේශීයව නිෂ්පාදනය කරන ලද සුවිශේෂී එස්එස්පී මඩ පොහොරක් “ලංකෙම් මඩ රජා” නමින් පසුගියදා වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබුවා. රුපියල් බිලියන 2.5 ක දැවැන්ත ආයෝජනයකින් ඉදිකරන ලද නවීන කර්මාන්තශාලාවක නිපදවෙන මෙම පොහොර විශේෂය මඟින් වාර්ෂිකව මෙට්‍රික් ටොන් පනස් දහසක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි. මෙමඟින් දේශීය කෘෂිකර්මාන්තයට අවශ්‍ය සමස්ත පොස්පේට් පොහොර අවශ්‍යතාවයෙන් සියයට අසූවක්ම මෙරටදීම සපුරාගත හැකි අතර ඒ ඔස්සේ මෙතෙක් කලක් ආනයනික පොහොර වෙනුවෙන් පිටරටට ගලා ගිය විශාල ධනස්කන්ධයක් ඉතිරි කර ගැනීමට මෙන්ම සැපයුම් ජාලය ස්ථාවර කිරීමටද හැකි වනවා.
ලංකෙම් සිලෝන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුරේන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ සැමවිටම ආනයන මත රඳා පැවතීම අවම කරමින් දේශීය හැකියාවන් ශක්තිමත් කිරීම සමාගමේ ප්‍රධාන අරමුණ බවයි. මෙම පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධානතම අමුද්‍රව්‍ය වන එප්පාවල ඇපටයිට් නිධියෙන් ලබා ගන්නා රොක් පොස්පේට් සපයා ගනු ලබන්නේ රජයට අනුබද්ධ ලංකා පොස්පේට් ලිමිටඩ් ආයතනය හරහායි. වෘත්තීය දේශීය ඉංජිනේරු තාක්ෂණය භාවිත කරමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රාශියක්ද උදා කර දී තිබෙනවා.
සාමාන්‍යයෙන් භාවිත කරන ආනයනික ට්‍රිපල් සුපර් පොස්පේට් (TSP) පොහොරවලට වඩා “ලංකෙම් මඩ රජා” සතු ගුණාත්මකභාවය ඉතා ඉහළයි. ශාකයේ මූල පද්ධතියේ වර්ධනයට අවශ්‍ය පොස්පරස්වලට අමතරව සල්ෆර් සහ කැල්සියම් යන පෝෂක කොටස්ද මෙමඟින් පසට එක් කරන බැවින් වගාවන්හි අස්වැන්න සරු කර ගැනීමටත්, දිගුකාලීනව පසෙහි සාරවත් බව රැක ගැනීමටත් මෙය මහඟු පිටුවහලක් වනවා. විශේෂයෙන්ම අධි සාන්ද්‍ර පොහොර භාවිතය සහ අඛණ්ඩ වගා කටයුතු නිසා මෙරට පසෙහි ඇති වී තිබෙන සල්ෆර් ඌනතාවයට මෙය ඉතා සාර්ථක ප්‍රතිකර්මයක් වන අතර වී, එළවළු, පලතුරු, තේ සහ පොල් ඇතුළු සියලුම බෝග සඳහා මෙම පොහොර එකසේ භාවිත කළ හැකියි.
ලංකෙම් මිනරල්ස් ලිමිටඩ් හි සභාපති ආනන්ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ පසෙහි ස්වාභාවික ගුණාංග යළි ස්ථාපනය කරමින් ගොවීන්ට ස්ථාවර සහ සාර්ථක අස්වැන්නක් ලබා දීම සිය අරමුණ බවයි. උදාහරණයක් ලෙස තේ වගාවේදී මෙහි අඩංගු සල්ෆර් මඟින් තේ දලුවල සංයුතිය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සෘජුවම දායක වනවා.














