මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වතාවරණය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම සමනය කරමින් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. පවතින රාජ්‍ය මූල්‍ය සීමාවන් සහ අනුමත රජයේ වියදම් සීමාවන් තුළ උපරිම අයුරින් රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම මෙමඟින් අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වන්නේ.
මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් මෙම චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, විශේෂ වියදම් ඒකක හා කොමිෂන් සභාවල ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා මෙන්ම ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත නිකුත් කර තිබෙනවා.
දැනට පවතින තත්ත්වය මත ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබීමත්, බදාදා දිනය රජයේ කාර්යාල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීමත් සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ සෙසු කාණ්ඩයන්ට හිමිගන්වා ඇති ඉන්ධන දීමනාව ගණනය කිරීමේදී විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු පසුගිය මාර්තු 01 වැනි දින පැවැති ඉන්ධන මිල පදනම් කර ගනිමින් පමණක් අදාළ දීමනා ලබා දිය යුතු වනවා. එමෙන්ම ඉන්ධන දීමනාව වෙනුවට ඉන්ධන ප්‍රමාණය සහ ඉන්ධන මිල පදනම් කර ගනිමින් ගෙවනු ලබන වෙනත් දීමනා සඳහාද පසුගිය මාර්තු 01 වැනි දින පැවැති ඉන්ධන මිලම අනුව ගණනය කළ යුතු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.















