මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් ඉල්ලා සිටීමේ සිද්ධියකට අදාළ නඩුවේදී තමන්ට නියම වූ රුපියල් මිලියන 25 ක දඩ මුදල ගෙවීමට සහ ඊට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එකඟ වී තිබෙනවා.
ශ්‍රී ලංකා අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවීමට කාලය ලබා දෙන්නේ නම් තම සේවාදායකයා අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවයි.
මෙම නඩුවට පාදක වී ඇත්තේ 2015 වසරේදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා අනුමැතිය ලබා දීමට එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නම් ව්‍යාපාරිකයාගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටීමේ සිද්ධියක්. එහිදී එම ව්‍යාපාරිකයාට තර්ජනය කර රුපියල් මිලියන 15 ක මුදලක් ලබාගෙන ඇති බවටද චෝදනා එල්ල වුණා.
ඒ අනුව 2022 ජූනි මාසයේදී කොළඹ මහාධිකරණය විසින් ප්‍රසන්න රණතුංග මහතා වැරදිකරු කරමින් වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක්, රුපියල් මිලියන 25 ක දඩයක් සහ අදාළ ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස නියම කළා. හිටපු අමාත්‍යවරයා එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කර තිබූ අතර දැන් ඔහු එම දඩ සහ වන්දි මුදල් ගෙවීමට එකඟ වෙමින් අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.














