දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවරයින්ට රුපියල් මිලියන 30කට අධික වන්දි මුදලක් ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා.
කුණාටු තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ ධීවර ආම්පන්න වෙනුවෙන් මෙම වන්දි ප්‍රදානය කිරීම පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉතා සාර්ථකව සිදු කෙරුණා. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි සහ පද්මසිරි බණ්ඩාර යන මහත්වරුන්ද එක්ව සිටියා.
මෙහිදී ධීවර යාත්‍රා අලුත්වැඩියා කිරීම සඳහා පුද්ගලයන් 20 දෙනෙකුටත්, සම්පූර්ණයෙන්ම නව යාත්‍රා ලබා ගැනීම වෙනුවෙන් 37 දෙනෙකුටත් සහ මාළු ඇල්ලීම සඳහා අවශ්‍ය දැල් මිලදී ගැනීමට ධීවරයන් 418 දෙනෙකුටත් වශයෙන් මෙම වන්දි මුදල් බෙදා දීම සිදු කළා. දරුණු ස්වාභාවික විපතක් හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි එම මිරිදිය ධීවර ප්‍රජාවට මෙම ආධාරය තමන්ගේ ජීවනෝපාය යළි ගොඩනඟා ගැනීමට මහත් සහනයක් වන බවයි වාර්තා වන්නේ.














