ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා සමඟ පවතින ගැටුම් උත්සන්න කරමින් ඉරානය විසින් පසුගිය මාර්තු 01 වනදා සිට බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඇමේසන් වෙබ් සර්විසස් (AWS) දත්ත මධ්‍යස්ථාන ඉලක්ක කර ෂාහෙඩ් (Shahed) ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට රටක් විසින් යුද සමයකදී වාණිජ දත්ත මධ්‍යස්ථාන (Commercial Data Centres) හිතාමතාම ඉලක්ක කළ අවස්ථාව මෙය ලෙස සැලකෙන අතර ඉරාන රාජ්‍ය මාධ්‍ය පසුගිය මාර්තු 31 වනදා නිවේදනය කළේ මයික්‍රොසොෆ්ට්, ගූගල්, ඇපල්, මෙටා සහ එන්වීඩියා වැනි ප්‍රමුඛ පෙළේ ඇමරිකානු සමාගම් සියල්ල ඉදිරියේදී ඉලක්ක කරන බවයි. මෙහි අලුත්ම තත්ත්වය ලෙස අප්‍රේල් 01 වනදා බහරේනයේ ඇමේසන් දත්ත මධ්‍යස්ථානයකට ද අප්‍රේල් 02 වනදා ඩුබායි හි ඔරකල් (Oracle) දත්ත මධ්‍යස්ථානයකට ද ප්‍රහාර එල්ල වූ බව වාර්තා වේ.
මෙම ප්‍රහාර මගින් යුද ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් සනිටුහන් කරමින් භෞතික හමුදා ඉලක්ක වෙනුවට රටක ආර්ථිකයට සහ සන්නිවේදනයට අත්‍යවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් විනාශ කිරීම මගින් දැඩි බලපෑමක් එල්ල කිරීමට ඉරානය උත්සාහ කරයි. විශේෂයෙන්ම මාර්තු 11 වනදා ඉරානයේ රාජ්‍ය බැංකුවකට (Bank Sepah) අයත් දත්ත මධ්‍යස්ථානයකට ඇමරිකානු හෝ ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඉරානය මෙම පියවර ගෙන ඇති බව පෙනී යයි. යුද්ධය හුදෙක් දේශසීමා අතර සීමා නොවී ලෝකයේ ප්‍රබලතම තාක්ෂණික සමාගම් සහ ඒවායේ සේවා සපයන යටිතල පහසුකම් දක්වා ව්‍යාප්ත වී ඇති බව මෙයින් මනාව පැහැදිලි වන අතර අනාගත යුද්ධ හුදෙක් ගොඩබිම හෝ ගුවනේ පමණක් නොව සයිබර් අවකාශය සහ දත්ත ගබඩා කර ඇති භෞතික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සිදුවනු ඇතැයි ආරක්ෂක අංශ අනතුරු අඟවයි.














