දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ (UNMISS) නිරත ඉන්දීය සාම සාධක හමුදා ඉංජිනේරු ඒකකය විසින් පසුගිය වසරේ ගංවතුර හේතුවෙන් වැසී ගිය ඉතා වැදගත් මලකල්-රෙන්ක් (Malakal-Renk) ප්‍රධාන සැපයුම් මාර්ගය යළි විවෘත කර ඇති අතර ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය ප්‍රසාදය පළ කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් (Stéphane Dujarric) ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, දුෂ්කර පරිසරයක් යටතේ වුවද මානුෂීය ආධාර බෙදා හැරීමට සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ ගමන් බිමන් පහසු කිරීමට ඉන්දීය සාම සාධක භටයින් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවයි.
පසුගිය වසරේ දකුණු සුඩානයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත අටක මිලියන 1.35 ක පමණ ජනතාවක් පීඩාවට පත් වූ අතර ලක්ෂ හතරකට ආසන්න පිරිසක් අවතැන් වූහ. ඉන්දීය ඉංජිනේරු ඒකකය විසින් ගංවතුරෙන් යටවූ ප්‍රදේශ ගොඩකර අලුතින් මාර්ග පෙළගැස්මක් (New road alignment) සකස් කර ඇති අතර එමගින් දැන් මානුෂීය ආධාර රැගත් වාහනවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව උදාවී තිබේ. මෙය දකුණු සුඩානයේ ස්ථාවරත්වය සහ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා තීරණාත්මක පියවරක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා දී ඇත.
2026 ජනවාරි මාසය වන විට දකුණු සුඩානයේ සාම සාධක මෙහෙයුම් සඳහා වැඩිම භට පිරිසක් ලබා දුන් රට බවට පත්ව ඇත්තේ ඉන්දියාව වන අතර ඒ අනුව භටයින් 1,779 දෙනෙකු මේ වන විටත් එහි සේවය කරති. ඉන්දීය සාම සාධක හමුදාව විසින් ඉටු කරන ලද මෙම සුවිශේෂී මෙහෙයුම සම්බන්ධයෙන් UNMISS නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද විශේෂ ස්තුතියක් පිරිනමා තිබේ.














