ඩුබායි බලධාරීන් විසින් නිකුත් කරන ලද ආරක්ෂක උපදෙස්වලට අනුව, ඩුබායිහි පිහිටි හින්දු කෝවිල (The Hindu Temple) සහ ගුරු නානක් දර්බාර් සීක් ගුරුද්වාරය (Guru Nanak Darbar Gurudwara) අද (03) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා තබා ඇත. ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවත්, බැතිමතුන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව කනගාටුව පළ කරන බවත් එම ආයතන කළමනාකාරීත්වය නිවේදනය කර තිබේ.
මෙම තීරණයට සමගාමීව ඩුබායිහි පිහිටි කිතුනු දේවස්ථාන කිහිපයක් ද සිය දේව මෙහෙයන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ඇමරිකානු බැංකු ඇතුළු විදේශීය ආයතනවලට එල්ල වී ඇති ආරක්ෂක තර්ජන හමුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා පිහිටි ආගමික ස්ථානවල ආරක්ෂාව තර කිරීමට බලධාරීන් මෙලෙස කටයුතු කර තිබේ.
බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලැබූ මෙම පියවර සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත්, තත්ත්වය සමනය වූ වහාම දේවස්ථාන සහ කෝවිල් යළි විවෘත කරන බවත් අදාළ බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර සිටිති.














