පෙබරවාරි 28 වනදා ආරම්භ වූ ඇමරිකා – ඉරාන යුද්ධය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් නිර්මාණය වී ඇති ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ, මෙවර පාස්කු නිවාඩු කාලය තුළ සංචාරය කිරීමෙන් වැළකී සිටීමට ඕස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් තීරණය කර ඇත. සාමාන්‍යයෙන් වසරේ කාර්යබහුලම සංචාරක සමයක් වන පාස්කු සති අන්තයේදී මිලියන සංඛ්‍යාත පිරිසක් ඕස්ට්‍රේලියාව පුරා සංචාරය කළද, ඉන්ධන මිල අධික වීම සහ පවතින හිඟය හේතුවෙන් බොහෝ දෙනා සිය සැලසුම් වෙනස් කර තිබේ.
සිඩ්නි නුවර පදිංචි විශ්‍රාමික කාන්තාවක් වන එල්සා උකැක් (Elsa Ucak) රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් පවසා ඇත්තේ, තමා සහ සිය සැමියා සෑම වසරකම පාස්කු නිවාඩුවට නගරයෙන් බැහැරව දුර බැහැර ප්‍රදේශවල සංචාරය කළද, පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙවර නිවසට වී සිටීමට තීරණය කළ බවයි. “පැය හයක් හතක් ධාවනය කරලා යන එක දැන් හරිම වියදම් අධිකයි. ඒ වගේම රැකියාවල නිරත වන අයට ඉන්ධන වැඩිපුර අවශ්‍ය වෙනවා. අපි විශ්‍රාමික නිසා නිවසට වී සිටීම වඩාත් සුදුසුයි,” යනුවෙන් ඇය සඳහන් කළාය.
පසුගිය 2025 වසරේදී ඕස්ට්‍රේලියානුවන් මිලියන 4.5 කට අධික පිරිසක් පාස්කු නිවාඩුව වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 11.1 ක මුදලක් වැය කර තිබුණද, මෙවර සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්ත පසුබෑමක් අපේක්ෂා කෙරේ. ඉරාන යුද්ධය හේතුවෙන් ලෝකයේ බලශක්ති සැපයුම අඩාල වීම ඕස්ට්‍රේලියාව වැනි රටවල සාමාන්‍ය ජන ජීවිතයට සහ ආර්ථිකයට මෙලෙස සෘජුවම බලපාමින් පවතින බව වාර්තා වේ.














