ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් බස් රථවල ගමන් ගන්නා මඟීන් වෙනුවෙන් ඉතාමත් පහසු සහ නවීන ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය සූදානම් වනවා. ඒ අනුව කාඩ්පත් (Card System) භාවිත කරමින් බස් ගාස්තු ගෙවීමේ නව ක්‍රමවේදය මේ වසර ඇතුළතදීම ආරම්භ කරන බවයි ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කර සිටින්නේ.
මගී ප්‍රවාහන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරමින් වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතු සේවාවක් මහජනතාවට සැපයීම මෙම වැඩපිළිවෙලෙහි ප්‍රධානතම අරමුණ වී තිබෙනවා. මෙම නව ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ බස් රථවල ගමන් ගන්නා මඟීන්ට මෙන්ම කොන්දොස්තර මහතුන්ටද ඉතිරි මුදල් (මාරු සල්ලි) ලබා දීමේදී සහ ලබා ගැනීමේදී නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වන අපහසුතාවලට ස්ථිරසාර විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
විශේෂයෙන්ම කාර්යබහුල වේලාවන්හිදී කාලය ඉතිරි කර ගැනීමටත්, වඩාත් ආරක්ෂිතව සහ පහසුවෙන් තම ගමන් බිමන් සලසා ගැනීමටත් මෙම ඩිජිටල් ගෙවීම් ක්‍රමය මෙරට පොදු ප්‍රවාහන පද්ධතියට විශාල ශක්තියක් වනු නොඅනුමානයි.














