එංගලන්තයේ ලින්කන්ෂයර් (Lincolnshire) ප්‍රාන්තයේ හෝන්කාසල් ප්‍රදේශයේ නිවසක් තුළ 27 හැවිරිදි කාන්තාවක මියගොස් සිටියදී හමුවීම සම්බන්ධයෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු ඝාතන සැකය මත අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (02) පස්වරු 4:20 ට පමණ හෝන්කාසල්හි වෝවික්ෂයර් වේ (Warwickshires Way) හි පිහිටි නිවසක කාන්තාවක බරපතල තුවාල ලබා සිහිසුන්ව සිටින බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තා වේ. ලින්කන්ෂයර් පොලිසිය පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට වෙනත් සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක නොකරන බවත්, අදාළ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා එම ප්‍රදේශයේ තවදුරටත් පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත්ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නා අයෙකු සිටී නම් වහාම දැනුම් දෙන ලෙස පොලිස් පරීක්ෂක ඇන්ඩි මැක්වොට් (Andy McWatt) මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. මියගිය කාන්තාවට යුක්තිය ඉටු කිරීම සඳහා සුළු හෝ තොරතුරක් බෙහෙවින් වැදගත් වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














