බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශාන්ත කිට්ස් (St Kitts) හි පැවති තෙවන සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද (03) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් (Clean Sweep) අත්කර ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූ අතර, මීට පෙර පැවති විස්සයි-20 තරගාවලිය ද ඔවුන් 3-0 ක් ලෙස ජයග්‍රහණය කර තිබුණි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 35.4 කදී සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 136 ක් පමණි. කොදෙව් ඉනිම සුනුවිසුනු කළ ඇලානා කිං (Alana King) ලකුණු 19 කට කඩුලු 5 ක් බිඳහෙළමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තාය. නායිකා හේලි මැතිව්ස් ලකුණු 34 ක් සහ ඩියැන්ඩ්‍රා ඩොටින් ලකුණු 22 ක් රැස්කරමින් කොදෙව් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නද, අනෙකුත් පිතිකාරිණියන් ලකුණු අතරට පැමිණීමට අපොහොසත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 137 ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. නොදැවී ලකුණු 68 ක් රැස්කළ ෆෝබි ලිච්ෆීල්ඩ් (Phoebe Litchfield) සහ නොදැවී ලකුණු 33 ක් රැස්කළ එලීස් පෙරී (Ellyse Perry) අතර ගොඩනැගුණු ලකුණු 87 ක නොබිඳුණු සබඳතාව ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය පහසු කළේය. ආරම්භක පිතිකාරිණී ජෝර්ජියා වෝල් ලකුණු 23 කට දැවී ගියාය.














