සිඩ්නි නුවරට දකුණින් කිලෝමීටර් 80 ක් පමණ දුරින් පිහිටි ඇල්බියන් පාර්ක් රේල් (Albion Park Rail) ප්‍රදේශයේදී අද (03) උදෑසන සිදුවූ සැහැල්ලු ගුවන් යානා අනතුරකින් එහි ගුවන් නියමුවා කිසිදු තුවාලයකින් තොරව බේරී ඇති බව වාර්තා වේ. මහ සිකුරාදා උදෑසන 8:30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, යානය ෂෙල්හාබර් (Shellharbour) ගුවන් තොටුපළට මීටර් 200 ක් පමණ ආසන්නයේ පිහිටි වෙල්යායකට කඩා වැටී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ සිට ඇත්තේ 53 හැවිරිදි ගුවන් නියමුවා පමණක් වන අතර, ඔහුට එම ස්ථානයේදීම ගිලන් රථ වෛද්‍යවරුන් විසින් මූලික පරීක්ෂණ සිදුකළ ද කිසිදු බරපතල තුවාලයක් සිදුවී නොමැති බව නිවු සවුත් වේල්ස් පොලිසිය තහවුරු කළේය. අනතුරට පත්ව ඇත්තේ ‘Cirrus SR20’ වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් වන අතර, එහි වම් පියාපතට සහ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුවී ඇති බව ඡායාරූපවලින් පෙනී යයි.
ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය (ATSB) වෙත මෙම අනතුර පිළිබඳව දැනුම් දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නිල විමර්ශනයක් ආරම්භ කරන්නේද යන්න තීරණය කිරීමට පෙර ඔවුන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු රැස් කරමින් සිටී. මෙම අනතුර හේතුවෙන් ප්‍රදේශයේ වෙනත් කිසිදු දේපළකට හෝ පුද්ගලයෙකුට හානි සිදුවී නොමැත.














