ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බැලරට් ප්‍රදේශයේ පසුගිය දශකය තුළ වාර්තා වූ ඉහළම මෝටර් රථ සොරකම් සංඛ්‍යාව මැඩපැවැත්වීම සඳහා ක්‍රියාත්මක කළ දෙදින විශේෂ මෙහෙයුමකදී පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ප්‍රාදේශීය පොලිස් නිලධාරීන්, ගුවන් මෙහෙයුම් අංශය (Air Wing) සහ පොලිස් සුනඛ ඒකකය (Dog Squad) එක්ව මෙම වැටලීම සිදුකර ඇත.
මෙම මෙහෙයුමේදී බැලරට් ඊස්ට් ප්‍රදේශයේ අධික වේගයෙන් ධාවනය වූ සොරකම් කරන ලදැයි සැක කෙරෙන වාහනයක් ලුහුබැඳ ගිය පොලිස් හෙලිකොප්ටර් යානයක්, එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු මවුන්ට් ප්ලසන්ට් (Mount Pleasant) ප්‍රදේශයේදී කොටු කර ගැනීමට සහාය වී තිබේ. එහිදී අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයෙකුට අනතුරුදායක ලෙස රිය ධාවනය, රථ වාහන සොරකම් සහ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා එල්ල වී ඇති අතර, ඔහු සමඟ සිටි තරුණියකට මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ව්‍යාජ ගිනි අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.
පොලිසිය විසින් සොරකම් කරන ලද වාහන 4 ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන වැරදි සම්බන්ධයෙන් දඩ පත්‍රිකා 5 ක් ද නිකුත් කර ඇත. බැලරට් ප්‍රදේශයේ පවතින මෙම මෝටර් රථ සොරකම් පිළිබඳව පොලිසිය සිය දැඩි අවධානය යොමු කර ඇති අතර, තම වාහනවල ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙස පොලිස් අධිකාරී එලිසා ස්මිත් (Elissa Smith) මහත්මිය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටී.














