ඇමරිකාව සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ, ඉරාන රජය විසින් වයස අවුරුදු 12 තරම් කුඩා දරුවන් යුධ කටයුතු සඳහා බඳවා ගනිමින් සිටින බවට ජාත්‍යන්තර සමාව් පාලක සංවිධානය (Amnesty International) බරපතල චෝදනාවක් එල්ල කර තිබේ. ඊයේ (02) නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ‘මව්බිම සුරැකීමේ සටන්කාමීන්’ (Homeland-Defending Combatants) යන නමින් විශේෂ බඳවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, ඒ යටතේ අවුරුදු 12 සිට ඉහළ දරුවන්ට ස්වේච්ඡාවෙන් හමුදාවට බැඳීමට අවස්ථාව ලබා දී ඇත.
තෙහෙරාන් නුවර පිහිටි පල්ලි සහ ප්‍රධාන නගර මධ්‍යස්ථානවල ස්ථාපිත කර ඇති විශේෂ ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථාන හරහා මෙම දරුවන් ‘බසිජ්’ (Basij) හමුදා ඒකක වෙත බඳවා ගන්නා බව වාර්තා වේ. ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ හමුදා කඳවුරු සහ මුරපොලවල් ඉලක්ක කරගනිමින් එල්ල කරන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හමුවේ, මෙලෙස කුඩා දරුවන් යුධ සේවයේ යෙදවීම ඔවුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් කිරීමක් බව ජාත්‍යන්තර සමාව් පාලක සංවිධානය පෙන්වා දෙයි.
මෙය ජාත්‍යන්තර නීතියට අනුව බරපතල යුධ අපරාධයක් බව පවසන මානව හිමිකම් ක්‍රියාකාරිනී එරිකා ගුවේරා-රෝසාස් (Erika Guevara-Rosas), වයස අවුරුදු 18 ට අඩු දරුවන් හමුදාවට බඳවා ගැනීම වහාම නතර කරන ලෙස ඉරාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. ඉරාන හමුදාවන්හි පවතින සෙබළුන්ගේ හිඟය පියවා ගැනීම සඳහා මෙලෙස ළමා සෙබළුන් යොදා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතී.













