ගාල්ල, තෙලිකඩ පොලිස් වසමේ මාවඩවිල අක්කර 13 ප්‍රදේශයේදී අද (03) උදෑසන එකම පවුලේ තිදෙනෙකුට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දීමේ ඉතා අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා. අද උදෑසන 6.00 ට පමණ සිදු වූ මෙම බරපතළ පහරදීමෙන් තුවාල ලැබූවන් වහාම රෝහල් ගත කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එම පවුලේ මිත්තණිය සහ ඇගේ දියණියගේ දුවගේ ස්වාමිපුරුෂයායි. පහරදීමෙන් බරපතළ තුවාල ලබා මේ වන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ මිත්තණියගේ දියණිය වන අතර, ඇයගේ එක් අතක්ද සිරුරෙන් වෙන්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු තෙලිකඩ පොලීසිය විසින් මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මියගිය තැනැත්තියගේ අනෙක් දියණියගේ සැමියා බවත්, එම දියණිය මේ වන විට ඉතාලියේ රැකියාවක නිරතව සිටින බවත් පොලීසිය පවසනවා. සැකකරු 35 හැවිරිදි උණවටුන, දලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හිටපු හමුදා සෙබළෙකු බවද හෙළි වී තිබෙනවා. පවුල් ආරවුලක් මුල් කරගනිමින් මෙම දරුණු අපරාධය සිදු කර ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධව ඇල්පිටිය කොට්ඨාස අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණ සිදු කර ඇති අතර, තෙලිකඩ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හර්ෂද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති එම්. පී. ජී. සරච්චන්ද්‍ර මහතා විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.














