කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද “ඩිජිටල් මිනිසුන්” හෙවත් අතථ්‍ය පුද්ගලයන් (Virtual Humans) නියාමනය කිරීම සඳහා චීනයේ සයිබර් අවකාශ පරිපාලනය (CAC) විසින් නව කෙටුම්පතක් අද (03) ඉදිරිපත් කරන ලදී. මෙමගින් ඩිජිටල් මිනිසුන් හරහා සිදුකළ හැකි වංචා වැළැක්වීම සහ කුඩා ළමුන් මෙවැනි තාක්ෂණයන්ට ඇබ්බැහි වීම පාලනය කිරීම මූලික අරමුණ වී තිබේ.
නව නීතිවලට අනුව, ඕනෑම ඩිජිටල් මිනිස් රූපයක් හෝ අන්තර්ගතයක් සහිත නිර්මාණයක ඒ බව පැහැදිලිව සඳහන් කරන “ලේබලයක්” (Label) ප්‍රදර්ශනය කළ යුතුය. විශේෂයෙන්ම වයස අවුරුදු 18 ට අඩු දරුවන් සඳහා ඩිජිටල් මිනිසුන් හරහා “අතථ්‍ය සමීප සබඳතා” (Virtual intimate relationships) ලබා දීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. පුද්ගලික දත්ත අවභාවිත කරමින් අනුමතයකින් තොරව ඩිජිටල් මිනිසුන් නිර්මාණය කිරීම සහ අනන්‍යතාවය තහවුරු කිරීමේ පද්ධති මඟහැරීම සඳහා මෙම තාක්ෂණය භාවිතා කිරීම ද මෙමගින් තහනම් වේ.
චීන රජය අවධාරණය කරන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන, රාජ්‍ය විරෝධී හැඟීම් අවුස්සන හෝ ජාතික සමගිය පලුදු කරන කිසිදු අන්තර්ගතයක් ඩිජිටල් මිනිසුන් හරහා ප්‍රචාරය නොකළ යුතු බවයි. එසේම, ලිංගිකත්වය ඉස්මතු කරන, බියකරු හෝ ප්‍රචණ්ඩකාරී දර්ශන ඇතුළත් අන්තර්ගතයන් වැළැක්වීමට සේවා සපයන්නන් පියවර ගත යුතුය. යම් පරිශීලකයෙකු සියදිවි නසාගැනීමේ හෝ ස්වයං හානිකර ගැනීමේ ප්‍රවණතාවක් පෙන්වන්නේ නම්, ඩිජිටල් සේවා හරහා වහාම මැදිහත් වී වෘත්තීය සහාය ලබා දීමට ද පියවර ගත යුතු බව මෙම නව කෙටුම්පතේ සඳහන් වේ.














