මැලේසියාවේ පිනෑන්ග් (Penang) හි මැලේසියානු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව විශේෂ සොයා බැලීමක නිරත වී තිබෙනවා. මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) විශේෂ සංචාරයක නිරත වෙමින් මෙරට තුළ ආයෝජනය කළ හැකි විභවයන් සහිත ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. මැලේසියානු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය යනු මැලේසියාවේ ප්‍රාන්ත සහ දිස්ත්‍රික් මට්ටමේ පවතින ඉන්දීය වාණිජ මණ්ඩල රැසක ප්‍රධාන එකතුවක් ලෙස ක්‍රියා කරන ප්‍රමුඛ ආයතනයක්.
මෙම ආයෝජකයන්ගේ අවධානයට ලක් වූ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), බැංකු ක්ෂේත්‍රය, අගය එකතු කළ කෘෂිකර්මාන්තය මෙන්ම පතල් කැණීම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඇතුළත් වී තිබෙනවා. මෙම සාකච්ඡා වටය සඳහා මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන රැසක් සම්බන්ධ වී සිටි අතර නාගරික සංවර්ධන අධිකාරිය (UDA), කොළඹ වරාය නගරය (Port City), ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මෙන්ම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ඊට එක්ව සිටියා.














