ගෝනපල, ඔලබොඩුව රෝස් ගාර්ඩන් පාරේ ප්‍රධාන පාලම හරහා ගලා යන ඇළ මාර්ගයේ මත්ස්‍යයින් ඇතුළු ජල ජීවීන් විශාල වශයෙන් මිය යමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. සති කිහිපයක සිට පවතින මෙම අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් ප්‍රදේශය පුරා දරාගත නොහැකි දැඩි දුර්ගන්ධයක් පැතිර යන අතර, නිවෙස්වල පවා රැඳී සිටීමට නොහැකි තරමට ජන ජීවිතය දැඩි පීඩාවකට පත්ව තිබෙනවා.
විශේෂයෙන්ම මියගිය මත්ස්‍යයන් ආහාරයට ගත් සුනඛයන් සහ කබරයන් වැනි සතුන්ද මිය ගොස් සිටිනු දැකගත හැකි අතර, කපුටන් සහ උකුස්සන් වැනි පක්ෂීන් මෙම මසුන් ඩැහැගෙන ගොස් මිදුල් සහ වහලවල් මතට දැමීම නිසා තත්ත්වය තවත් බරපතළ වී තිබෙනවා. ඇළ මාර්ගයේ ඉහළ ප්‍රදේශයක පවත්වාගෙන යන වැලි තොටුපොළක පිටතින් ගෙන එන පස් සේදීමෙන් පසු බැහැර කරන අපජලය මෙම විනාශයට හේතුව බවයි ගම්වැසියන් චෝදනා කරන්නේ.
තමන් මේ පිළිබඳව පරිසර අධිකාරිය ඇතුළු ආයතන කිහිපයකටම පැමිණිලි කළද මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බවත්, ඇළ පතුලේ මඩ තට්ටු තැන්පත් වීම නිසා ඉදිරියේදී වගා කටයුතුවලට පවා බාධා එල්ල වන බවත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. එමෙන්ම මෙම අපිරිසිදු ජලය බොල්ගොඩ ගඟට ගලා බසින බැවින් මෙය තවත් විශාල පිරිසකට බලපාන පොදු ගැටලුවක් බවද ඔවුන් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හොරණ ප්‍රාදේශීය ලේකම් කේ.ඩී.එස්. සජීවනා මහත්මිය ප්‍රකාශ කළේ අදාළ වැලි තොටුපොළ මධ්‍යම පරිසර අධිකාරියෙන් නිසි බලපත්‍රයක් ලබාගෙන නොමැති බවයි. ඒ අනුව එහි කටයුතු තාවකාලිකව නතර කරන ලෙසට දැනුම් දී ඇති අතර, මත්ස්‍යයන් මියයෑමට සෘජුවම බලපෑවේ මෙම අපජලයද යන්න තවමත් තාක්ෂණිකව තහවුරු වී නොමැති බවත්, ඒ පිළිබඳව කෘෂිකර්ම නිලධාරීන් විසින් මේ වන විටත් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.














