ශ්‍රී ලංකාවේ සමූපකාර රෝහල් පද්ධතිය මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමඟ ඒකාබද්ධ කරමින් වඩාත් කාර්යක්ෂම මහජන සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී රජයේ සහ පෞද්ගලික අංශය අතර මධ්‍යස්ථ සේවාදායකයෙකු ලෙස සමූපකාර රෝහල් සතු සම්පත් වඩාත් කාර්යක්ෂමව මහජනතාව වෙත සමීප කරවීමේ හැකියාව පිළිබඳව දීර්ඝව කරුණු සොයා බැලීය.
මෙහිදී සමූපකාර රෝහල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පරිගණක සමාගමක් සමාජ සත්කාරයක් ලෙස සහාය වීමට ඉදිරිපත් වී ඇති බව අනාවරණය විය. මෙම ක්‍රියාවලිය රජය 2026 වසර සඳහා රුපියල් බිලියන 30 ක ප්‍රතිපාදන වෙන් කරමින් ක්‍රියාත්මක කරන ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මට අනුකූලව සිදු කිරීමට අපේක්ෂිතය. මින් ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වන්නේ රෝගී සත්කාරක සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ තොරතුරු කළමනාකරණය විධිමත් කිරීමයි.
එසේම සමූපකාර රෝහල් කාර්ය මණ්ඩල සඳහා රජයේ සෞඛ්‍ය ආයතන සහ රෝහල් තුළ විශේෂ පුහුණුව ලබාගැනීමේ ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කළේය. දැනට මෙරට ක්‍රියාකාරී මට්ටමේ පවතින සමූපකාර රෝහල් 21 මගින් විශේෂඥ වෛද්‍ය සේවා, නවීන රසායනාගාර පහසුකම්, ශල්‍යකර්ම සහ ගිලන් රථ සේවා ඇතුළු පහසුකම් රැසක් පැය 24 පුරා මහජනතාව වෙත ලබා දෙමින් පවතී. මෙම නව වැඩපිළිවෙල හරහා එම සේවාවන් තවදුරටත් නවීකරණය කරමින් ජාතික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර ඇත.














