මධ්‍යම ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ ඇමරිකානු පස්වන පරම්පරාවේ F-35 ප්‍රහාරක යානයක් සාර්ථකව බිම හෙළු බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අද (03) පස්වරුවේ නිවේදනය කළේය. නවීන ගුවන් ආරක්ෂණ පද්ධතියක් මගින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ලොව දියුණුම ප්‍රහාරක යානයක් ලෙස සැලකෙන F-35 යානයක් මෙලෙස විනාශ කළ බවට ඉරානය කළ දෙවන ප්‍රකාශය මෙයයි. යානය කඩා වැටීමේදී සිදුවූ ප්‍රබල පිපිරීම් හමුවේ ගුවන් නියමුවාට ඉන් ඉවත් වීමට (Eject) නොහැකි වන්නට ඇති බවට ඉරාන මාධ්‍ය සැක පළ කරයි.
කෙසේ වෙතත්, ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ ගුවන් නියමුවා ආරක්ෂිතව ගොඩබැස ඇති බවත් ඔහු මේ වන විට ඉරාන ආරක්ෂක අංශ භාරයේ පසුවන බවත්ය. තවත් වාර්තාවලට අනුව ඇමරිකානු සහායක කණ්ඩායම් තම නියමුවා ඉරාන දේශසීමාවෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කරමින් සිටින බව පැවසේ. ඇමරිකානු වර්මොන්ට් ගුවන් ජාතික ආරක්ෂක බලකායට (Vermont Air National Guard) අයත් බවට සැක කෙරෙන මෙම යානය සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
මෙම සිදුවීමත් සමඟ මධ්‍යම පෙරදිග පවතින යුදමය වාතාවරණය තවදුරටත් උණුසුම් වී තිබේ. ඉරානය පවසන්නේ තම ගුවන් සීමාව උල්ලංඝනය කරන ඕනෑම ඉලක්කයකට ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානම් බවයි. ගුවන් නියමුවා ජීවතුන් අතර සිටින්නේ නම් හෝ අත්අඩංගුවට පත්ව ඇත්නම් එය ඉදිරි දේශපාලන සහ යුධමය තත්ත්වයන් කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇත.














