රුසියාවේ විශාලතම බැංකුව වන ස්බර්බෑන්ක් (Sberbank) ඇතුළු ගෙවීම් පද්ධති කිහිපයක අද (03) පස්වරුවේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මොස්කව් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙළඳාම් සහ ප්‍රවාහන කටයුතු දැඩි අවුල් සහගත තත්ත්වයකට පත්ව තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම බිඳ වැටීම හේතුවෙන් මොස්කව් මෙට්‍රෝ දුම්රිය පද්ධතියේ ප්‍රවේශ පත්‍ර ගෙවීම් අඩාල වූ අතර, මගීන්ට නොමිලේ දුම්රිය ස්ථානවලට ඇතුළු වීමට අවස්ථාව ලබා දීමට පවා බලධාරීන්ට සිදුවිය.
මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් QR කේත මගින් සිදු කරන ගෙවීම් සහ කාඩ්පත් ගෙවීම් අඩාල වූ අතර, බොහෝ වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් පාරිභෝගිකයන්ගෙන් මුදලින් (Cash) ගෙවීම් කරන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වේ. බෙල්ගොරොඩ් (Belgorod) ප්‍රදේශයේ සත්වෝද්‍යානයක් පවා කාඩ්පත් ගෙවීම් පද්ධති අක්‍රිය වීම නිසා අමුත්තන්ගෙන් මුදලින් ගෙවන ලෙස ඉල්ලා සිටියේය. මිලියන 22 ක ජනගහනයක් වෙසෙන මොස්කව් කලාපයට මෙයින් දැඩි බලපෑමක් එල්ල විය.
රුසියානු මහ බැංකුව මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, ස්බර්බෑන්ක් ආයතනය පවසා සිටියේ මේ වන විට පද්ධතියේ දෝෂය නිරාකරණය කර ඇති බවයි. කෙසේ වෙතත්, මෙම හදිසි බිඳ වැටීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙය සයිබර් ප්‍රහාරයක්ද නැතහොත් අභ්‍යන්තර පද්ධති දෝෂයක්ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වේ.














