අක්කරපත්තුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු රුපියල් 4,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු කොටු කර ගැනීමට හැකි වී ඇත.
අදාළ ව්‍යාපාරිකයා පදවන ලද යතුරුපැදියෙන් ඔහුගේ මව වැටී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් ලැබී තිබූ 119 පැමිණිල්ලක් විභාග නොකර සිටීමටත්, පොලිස් භාරයට ගෙන තිබූ රියදුරු බලපත්‍රය නැවත ලබාදීමටත් සැකකාර සැරයන්වරයා රුපියල් 5,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබුණි. මීට පෙර රුපියල් 1,000ක මුදලක් ලබාගෙන රියදුරු බලපත්‍රය මුදාහැර ඇති ඔහු, අදාළ පැමිණිල්ල සම්පූර්ණයෙන් ඉවත් කර නීතිමය කටයුතු නොකර සිටීම සඳහා ඉතිරි රුපියල් 4,000ක මුදල ලබාගන්නා අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. රජයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබන මෙවැනි දූෂිත ක්‍රියා මැඩලීම සඳහා අල්ලස් කොමිසම දිවයින පුරා වැටලීම් දැඩි කර ඇති බව ද සඳහන් වේ.














