ලියෝ XIV පාප් වහන්සේ අද (03) ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් (Isaac Herzog) මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින්, වත්මන් ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා “සියලු සංවාද මාර්ග නැවත විවෘත කරන ලෙස” (Reopen all paths of dialogue) දැඩි ඉල්ලීමක් කළ බව වතිකානය නිවේදනය කරයි. මධ්‍යම පෙරදිග කලාපීය ගැටුම සම්බන්ධයෙන් සිය විවේචනාත්මක ස්ථාවරය දිගින් දිගටම ප්‍රකාශ කරන පාප් වහන්සේ, මෙහිදී සාමූහික සාකච්ඡාවල වැදගත්කම අවධාරණය කර තිබේ.
මෙම දුරකථන සංවාදයේදී සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත්, ජාත්‍යන්තර සහ මානුෂීය නීතිවලට ගරු කරමින් කටයුතු කරන ලෙසත් උන්වහන්සේ ඊශ්‍රායල ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. විශේෂයෙන්ම යුධමය වාතාවරණය හමුවේ පීඩාවට පත් පිරිස් වෙත සහන සැලසීම සහ ගැටුම් සමනය කිරීමට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් අවශ්‍ය බව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී තිබේ.
පසුගිය මාර්තු 29 වනදා පැවැති පාම් ඉරිදා (Palm Sunday) දේව මෙහෙයේදී ද උන්වහන්සේ ලෝක සාමය වෙනුවෙන් සිය පණිවිඩය ලබා දුන් අතර, වත්මන් යුධමය තත්ත්වය ලෝක ආර්ථිකයට සහ මානව ආරක්ෂාවට එල්ල කරන බලපෑම පිළිබඳව වතිකානය සිය දැඩි කනස්සල්ල පළ කර සිටී.














