රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අද (03) අභාවප්‍රාප්ත විය. මියයන විට 47 වන වියේ පසුවිය. 2000 වසරේදී ‘ලක්බිම’ පුවත්පතේ සමාරම්භක කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස වෘත්තීය දිවිය ඇරඹූ ඔහු, පසුව ‘දිනමිණ’ සහ ‘රිවිර’ යන පුවත්පත්වල ද සේවය කරමින් මෙරට පුවත්පත් කලාවට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ අයෙකි.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන භක්ති ධර්මප්‍රිය , මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඉතා නිහතමානී සහ දක්ෂ මාධ්‍යවේදියෙකු ලෙස ගෞරවයට පාත්‍ර වූ චරිතයකි. ඔහුගේ දේහය හෙට (04) පස්වරුවේ සිට ගාල්ල, බූස්ස ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තැබීමට නියමිතය.
අවසන් කටයුතු එළැඹෙන සඳුදා (06) පස්වරු 5.00ට ගාල්ල, දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීහු දන්වා සිටිති. මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක් කරමින් සමුගත් ඒ මහතාට අපගේ සංවේගය පළ කර සිටිමු.













