දිවයිනේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හී ප්‍රමිතිය නගාසිටුවීම සහ සමස්ත ආයතනික ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීම සඳහා විශේෂ විද්වත් කමිටුවක් පත් කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම කමිටුවේ සභාපතිත්වය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා විසින් දරනු ලබන අතර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරෝෂා අදිකාරම්, මහාචාර්ය පූබාලසුන්දරම් අයින්ගරන් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී.ඒ.ඩී. අනිල් යන විද්වතුන් මෙහි සෙසු සාමාජිකයෝ වෙති.
නව රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුකූලව විද්‍යාපීඨවල යටිතල පහසුකම්, සිසු සුබසාධනය, පාලන කටයුතු, ඉගෙනුම් පරිසරය සහ ඇගයීම් ක්‍රමවේදයන් විධිමත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී ඇති ප්‍රධාන වගකීමකි. කමිටු සාමාජිකයින් ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යාංශයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
එහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ ගුණාත්මක ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනයක් සඳහා නායකත්ව ගුණාංගවලින් හෙබි දක්ෂ ගුරුවරුන් බිහි කරන මධ්‍යස්ථාන බවට විද්‍යාපීඨ පත් කළ යුතු බවයි. මේ සඳහා අවශ්‍ය ප්‍රායෝගික අවබෝධය ලබා ගැනීමට දිවයිනේ සියලුම විද්‍යාපීඨ නිරීක්ෂණය කරන ලෙසත්, එම නිරීක්ෂණ මත පදනම්ව පුළුල් අධීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන ලෙසත් අගමැතිනිය මෙහිදී කමිටු සාමාජිකයින්ට උපදෙස් ලබා දුන්නාය.














