හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ අභාවය වෙනුවෙන් විශේෂ ශෝක පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටින්නේ ඔහු වචනවලින් පමණක් නොව ක්‍රියාවෙන් ද සැබෑ විප්ලවවාදියෙකු වූ බවයි. 60 දශකයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස තමන් ඔහුව හඳුනාගත් බවත්, එතැන් සිට ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ ඔහු සිදුකළ විප්ලවීය මැදිහත්වීම අගය කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
මහින්ද විජේසේකර මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනය ආරම්භ කර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කළ සේවය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිහිපත් කළේය. විශේෂයෙන්ම 2001 වසරේදී එක්සත් ජාතික පෙරමුණට මාතර දිස්ත්‍රික්කයෙන් ලබා දුන් සෘජු නායකත්වය පක්ෂයේ ශක්තියට විශාල දායකත්වයක් වූ බව ඔහු පෙන්වා දෙයි. තැපැල්, ධීවර, වරාය සහ නාවික ඇතුළු අමාත්‍යාංශ ගණනාවක අමාත්‍යවරයෙකු ලෙස ඔහු ඉටුකළ මෙහෙවර ජනතා සිත් තුළ නොමැකී පවතින බවද එම පණිවිඩයේ දැක්වේ.
සිය දර්ශනය ඉදිරියට ගෙන යා හැකි දක්ෂ තරුණ නායකයෙකු ලෙස කාංචන විජේසේකර මහතා දේශපාලන ලෝකයට දායාද කරමින් මහින්ද විජේසේකර මහතා සමුගන්නා බවත්, ඔහුගේ අභාවය වෙනුවෙන් පවුලේ සැමට තමන්ගේත් එක්සත් ජාතික පක්ෂයේත් සාතිශය සංවේගය පළ කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.














