පසුගිය පෙබරවාරි 28 වනදා ඇමරිකානු – ඊශ්‍රායල ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ල කළ ප්‍රහාර හමුවේ කුවේටය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් රැසක් යුධමය වාතාවරණයකට මැදිව ඇති පසුබිමක, බ්‍රිතාන්‍යය විසින් ‘Rapid Sentry’ නම් නවීනතම ඩ්‍රෝන නාශක පද්ධතියක් කුවේටයේ ස්ථාපනය කර තිබේ. කුවේට් තෙල් පිරිපහදුවකට එල්ල වූ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරය බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් (Keir Starmer) මහතා දැඩි ලෙස හෙළා දැක ඇති අතර, මිත්‍ර රටවල ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව ඔහු අවධාරණය කළේය.
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව (RAF) නිවේදනය කරන්නේ, මෙම ‘Rapid Sentry’ පද්ධතිය ගොඩබිම සිට ගුවන් ප්‍රහාර මැඩලීම සඳහා ඉතා කාර්යක්ෂම සහ සටන් බිමේදී අත්හදා බැලූ (Battle-tested) පද්ධතියක් බවයි. බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි (John Healey) මහතා ප්‍රකාශ කර ඇති පරිදි, කලාපීය ස්ථාවරත්වය සහ බලශක්ති මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
බ්‍රිතාන්‍ය අගමැතිවරයා සහ කුවේට් ඔටුන්න හිමි කුමරු අතර පැවැති දුරකථන සංවාදයකදී ද මෙම ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. ඉරාන යුද්ධය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය වැනි රටවල් ද දැඩි තර්ජනයකට මුහුණ දී ඇති මොහොතක බ්‍රිතාන්‍යයේ මෙම මැදිහත්වීම ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත.














