ශ්‍රී ලංකාව මුදල් නෝට්ටු භාවිතය අවම වූ (Cash-lite) ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීමේ අරමුණින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (අප්‍රේල් 06) නිල වශයෙන් දියත් කිරීමට නියමිතයි.
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, මෙය කුඩා පරිමාණ වෙළෙඳුන්ට කිසිදු අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවකි. මීට අමතරව QR භාවිතය දිරිමත් කිරීම සඳහා පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් වෙනුවෙන් විශේෂ දිනුම් ඇදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර, එහිදී සතිපතා සහ මාසිකව රුපියල් 1,000,000 දක්වා වූ වටිනා ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව හිමි වෙයි. දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ජාතික මට්ටමේ ප්‍රචාරණ ව්‍යාපාරයක්ද හෙට සිට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 89% කට බැංකු පහසුකම් පැවතියත් තවමත් ආර්ථිකය තුළ රුපියල් ට්‍රිලියන 1.48 ක මුදල් නෝට්ටු සංසරණය වන බැවින්, මෙම පරතරය අවම කර සියලු පුරවැසියන් ඩිජිටල් ආර්ථිකයේ කොටස්කරුවන් කර ගැනීම රජයේ ප්‍රධාන අපේක්ෂාවයි.















