1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ නව ප්‍රධාන කාර්යාලය කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ අංක 43 දරන ස්ථානයේදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙනවා. මෙතෙක් කලක් රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය මෙම කාර්යාලය රජයේ ගොඩනැගිල්ලක් වෙත ගෙනයාමට කටයුතු කර ඇත්තේ පෞද්ගලික ගොඩනැගිලි සඳහා වැයවන අධික කුලී පිරිවැය අවම කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේය. මෙම පියවර හරහා වාර්ෂිකව රුපියල් මිලියන 25 ක මුදලක් රජයට ඉතිරි කර ගැනීමට හැකි වන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.
ඉතාම දුෂ්කර තත්ත්වයක් යටතේ ආරම්භ කළ සුවසැරිය සේවාව අද වන විට ස්ථාවරත්වයට පත්ව ඇති බව පැවසූ අමාත්‍යවරයා, සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කිරීම වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාරයක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාටත්, එවක හිටපු අග්‍රාමාත්‍යවරයාට මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඉන්දීය ජනතාවටත් සිය විශේෂ ස්තුතිය පුද කර සිටියා.
මෙම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අදහස් දක්වමින් කියා සිටියේ සුවසැරිය ආරම්භ කළ මුල් කාලවකවානුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මෙම ගිලන් රථ රෝහල් වෙත ඇතුළු කිරීමට පවා ඉඩ නොදෙමින් දැඩි බාධා එල්ල කළ බවයි. කෙසේ වෙතත් ඒ සියලු අභියෝග ජය ගනිමින් අද වන විට සුවසැරිය මෙරට ජනතාවගේ ජීවිත රකින අත්‍යවශ්‍යම සේවාවක් බවට පත්ව තිබෙනවා.














