ලංකාවේ ප්‍රදේශ රැසක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (අප්‍රේල් 06) දිනය සඳහා වලංගු වන පරිදි විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව හෙට දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වල මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අධික උණුසුම නිසා සිරුරට සිදුවන බලපෑම් අවම කර ගැනීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට පිළිපැදීමට උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා. නිතර ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකිතාක් විවේක ගැනීම සහ සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම ඒ අතර වනවා. වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර, කිසිදු විටෙක කුඩා දරුවන් සංවෘත වාහන තුළ තනි කර දමා යාමෙන් වළකින ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.














