පසුගිය 2025 වසරේ ජූලි මාසයේ සිට බංග්ලාදේශ අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයන් හයදෙනෙකු නිදහස් කර මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
මෙලෙස බංග්ලාදේශ බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබුණේ “SLFV සුදු දුව-4” (IMUL-A-0138-PTM) නමැති ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයන් පිරිසකි. ඔවුන් අප්‍රේල් 02 වැනිදා අලුයම 05.10 ට ෆිට්ස් එයාර් (FitsAir) ගුවන් සේවයට අයත් 8D912 යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඩකා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කළ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සහ දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පදනම් කරගනිමින් මානුෂීය පියවරක් ලෙස බංග්ලාදේශ බලධාරීන් මෙම ධීවරයන් පිරිස නිදහස් කර ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්වූ බංග්ලාදේශ බලධාරීන්ට ශ්‍රී ලංකා රජය සිය කෘතඥතාව පළ කර සිටිනවා.














