ඇමරිකාවේ ප්‍රාන්ත 10ක් පුරා දින 110ක සාම පාගමනක නිරත වූ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් මෙරටදී පැවැත්වෙන ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා (02) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
මෙම සාම පාගමන සඳහා ඇමරිකානු සාම පාගමනට නායකත්වය දුන් පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා 12 නමක් අප්‍රේල් 21 වැනිදා මෙරටට වැඩම කිරීමට නියමිතය. අප්‍රේල් 22 සිට 28 දක්වා දින හතක් පුරා පැවැත්වෙන මෙම පාගමන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසින් ආරම්භ කෙරේ. එහිදී අටමස්ථානාධිපති හිමියන්ගේ ආශීර්වාදයෙන් ලබාගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක් ද මෙම පාගමන සමඟ වැඩම කරවීමට නියමිත බව වාර්තා වේ.
අනුරාධපුරයෙන් ආරම්භ වී දඹුල්ල, මාතලේ, මහනුවර, කෑගල්ල සහ කැලණිය හරහා අප්‍රේල් 28 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟා වන මෙම පාගමන අවසානයේදී, වැඩම කරවන ලද බෝධි අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත නිල වශයෙන් භාර දීමට නියමිතය.
මෙම වැඩසටහන සඳහා ආරක්ෂාව සැපයීම, සනීපාරක්ෂක කටයුතු සහ සංවිධාන කටයුතු පිළිබඳව අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.














