පොලොන්නරුව – මඩකලපුව දුම්රිය මාර්ගයේ, වැලිකන්ද සෙවණපිටිය ප්‍රදේශයේදී ඉකුත් 29 වැනිදා අලුයම දුම්රියක ගැටී බරපතළ තුවාල ලබා සිටි වන අලියා දින පහකට පසු (03) දහවල් මැණික්වෙල වෙල්යායේදී මියගොස් ඇති බව වැලිකන්ද වනජීවී නිලධාරීහු තහවුරු කරති.
අනතුරින් පසු අසාධ්‍ය තත්ත්වයේ පසු වූ මෙම අලියා සෙවණපිටිය සහ මැණික්වෙල අතර ප්‍රදේශයේ සැරිසරමින් සිට ඇත. මියයන විට මෙම වන අලියාට වයස අවුරුදු 35ක් පමණ වන අතර උසින් අඩි 8ක් පමණ වූ බව වැලිකන්ද අඩවි ආරක්ෂක සී.ඒ. වනසිංහ මහතා සඳහන් කළේය.
මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුඅරච්චි මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කිරීමට නියමිතව තිබිණි. දුම්රිය මාර්ගයේ වන අලින් ගැටීම වැළැක්වීමට විධිමත් පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු සිය කනගාටුව පළ කරති.














