බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ප්‍රමුඛ රජ පවුලේ සාමාජිකයන් සාම්ප්‍රදායික පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා ඊයේ (05) වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය වෙත එක් වූහ. මෙම අවස්ථාවට විලියම් කුමරු, කැතරින් කුමරිය සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා මෙන්ම එඩ්වඩ් කුමරු සහ ඈන් කුමරිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
කෙසේ වෙතත්, රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෲ කුමරු මෙවර දේව මෙහෙයට සහභාගී නොවූ අතර ඔහු පසුගිය පෙබරවාරි මාසයේදී පොලිස් අත්අඩංගුවට පත්වීම මෙයට හේතුව වී තිබේ. ඔහු සමඟ ඔහුගේ හිටපු බිරිඳ වන සාරා ෆර්ගියුසන් සහ දියණියන් වන බියට්‍රිස් සහ යුජීනි කුමරියන් ද මෙවර උත්සවයට එක් නොවූහ. මෙය ඔවුන් විසින්ම ගත් තීරණයක් බව රජ මාලිග ආරංචි මාර්ග පවසයි.
මේ අතර, මෙම මස අග භාගයේදී අමෙරිකාවේ සිදු කිරීමට නියමිත රාජ්‍ය සංචාරය අතරතුර ලිංගික අපයෝජනයන්ට ලක්වූවන් හමුවන ලෙස චාල්ස් රජුගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. මෙවර පාස්කු පණිවුඩයක් නිකුත් කිරීමෙන් රජු වැළකී සිටීම ද විශේෂත්වයකි.















