රුපියල් එකොළොස් කෝටි තිස් හතර ලක්ෂයකට (රු. මිලියන 113.4) අධික වටිනාකමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (06) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කුලී රැකියාවල නිරත වන්නෙකි. ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය සහිත ගමන් මල්ල ගුවන් තොටුපොළේ දමා පලා යෑමට උත්සාහ කිරීමේදී, රේගු නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
එහිදී අදාළ ගමන් මල්ලේ තිබූ චොක්ලට් පැකට් 12ක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 11යි ග්‍රෑම් 340ක ප්‍රමාණයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.














