සිල්ලංකුලම පොලිස් වසමට අයත් වටුප්පිටන්නඩු පුදුකාමන් මාර්ගයේදී ඊයේ (05) රාත්රී කාලයේ සිදු වූ දරුණු රිය අනතුරකින් 60 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වටුප්පිටන්නඩු දෙසට ධාවනය වූ ට්රැක්ටර් රථයක් ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වඩුක්කුනාරි ප්රදේශයේ පදිංචිව සිටි අයෙකි. අනතුර සිදු වූ වහාම ට්රැක්ටර් රථයේ රියැදුරු රථය එම ස්ථානයේදීම දමා පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සිල්ලංකුලම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මියගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මන්නාරම රෝහලේදී පැවැත්වීමට නියමිතය.














