“ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” අද (06) ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙම නව පද්ධතිය මෙරට ආර්ථිකයේ විශාල ඉදිරි පිම්මක් වනු ඇති බවයි. මෙතෙක් QR ක්‍රමවේදය ජනතාව අතර ප්‍රචලිත නොවීමට බලපෑ හේතු අධ්‍යයනය කර, ඒ සඳහා විසඳුම් ලෙස ප්‍රධාන කරුණු දෙකක් හඳුන්වා දී ඇති බව ඔහු සඳහන් කළේය.
රුපියල් 5,000ට අඩු ගනුදෙනු ගාස්තු රහිත කිරීමේ පියවර යටතේ රුපියල් 5,000ට අඩු සියලුම QR ගනුදෙනු සඳහා කිසිදු සේවා ගාස්තුවක් අය නොකිරීමට තීරණය කර ඇත. මේ වෙනුවෙන් පිරිවැය දරා ගැනීමට එකඟ වූ ශ්‍රී ලංකා බැංකු සංගමයට සහ Lanka Pay ආයතනයට ඔහු සිය ස්තූතිය පිරිනැමීය.
එමෙන්ම P to P හෙවත් පුද්ගලානුබද්ධ ගනුදෙනු ප්‍රචලිත කිරීම යටතේ වෙළඳසැලකටම යාමකින් තොරව පුද්ගලයන් දෙදෙනෙකු අතර සෘජුව මුදල් හුවමාරු කර ගැනීමේ හැකියාව මෙහිදී වැඩි දියුණු කර ඇත. ඉන්දියාව වැනි රටවල මෙම ක්‍රමය අතිශය සාර්ථක වී ඇති බවත් ඕනෑම අයෙකුට තමන්ගේ QR කේතය මුද්‍රණය කර ළඟ තබා ගැනීමෙන් ඕනෑම තැනකදී ගනුදෙනු කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
මෙම නව පහසුකම් ඔස්සේ මුදල් නෝට්ටු භාවිතයෙන් තොර ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමන වේගවත් වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.














