මෙරට රෝහල් කිහිපයක විශේෂඥ වෛද්‍යවරුන් සතු නිල තනතුරු ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) බරපතළ චෝදනාවක් එල්ල කරයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා අද (06) පෙන්වා දුන්නේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සඳහා ද වර්තමානයේදී දේශපාලන මැදිහත්වීම් සිදුවෙමින් පවතින බවයි. මෙරට රෝහල් පද්ධතියේ විශේෂඥ වෛද්‍යවරුන් 3,000කගේ අවශ්‍යතාවක් පැවතියද, දැනට සේවයේ නිරතව සිටින්නේ 2,100ක් වැනි පිරිසක් පමණක් බව ද ඔහු අනාවරණය කළේය.
මෙම තත්ත්වය හමුවේ ජාතික රෝහල්වල ඇතැම් වැදගත් ඒකක වසා දැමීමට පාලකයින් කටයුතු කරමින් සිටින බව GMOA පවසයි. ඒ අනුව රාගම ශික්ෂණ රෝහලේ වකුගඩු හා අක්මා බද්ධ කිරීමේ ඒකකය වසා දැමීමට තීරණය කර ඇති බවත්, ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍ය තනතුර ඉවත් කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය. මීට අමතරව රිජ්වේ ආර්යාව ළමා රෝහලේ අතිරේක විශේෂඥ වෛද්‍ය ඒකකයක් සහ රාගම ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ විශේෂඥ තනතුරක් ද මෙලෙස ඉවත් කර තිබේ.
වවුනියාව රෝහලේ බාහිර රෝගී ඒකකයට අනුයුක්ත විශේෂඥ ඒකකයක් ද දේශපාලන බලපෑම් මත ඉවත් කර ඇති බව පවසන විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා, මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ඉතිරිව සිටින විශේෂඥ වෛද්‍යවරුන් ද රට අතහැර යාමේ අවදානමක් පවතින බව අවධාරණය කළේය. මෙම තීරණ මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවයට දැඩි තර්ජනයක් බව ද වෛද්‍ය සංගමය වැඩිදුරටත් කියා සිටියි.














