සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් බැංකු ගිණුම් සකසා, භික්ෂූන් වහන්සේ නමකට රෝද පුටුවක් ලබා දෙන බව පවසා මහජනතාවගෙන් ආධාර මුදල් ලබා ගැනීමේ සිද්ධියට අදාළ සැකකරු ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය. පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි හෙට්ටිආරච්චිගේ සුදේශ් නලින්ද අල්විස් නමැති මෙම සැකකරු විදේශගතව සිට මෙරටට පැමිණීමේදී ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අමාත්‍යවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබූ අතර, සැකකරු විසින් අමාත්‍යවරයාගේ නම භාවිතා කරමින් ව්‍යාජ බැංකු ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවත් එක් ගිණුමක රුපියල් 38,000ක මුදලක් තිබී අනාවරණය කරගත් බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ. වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සමාජයේ පිළිගත් පුද්ගලයන්ගේ නම් භාවිතා කරමින් ආධාර ලබා ගැනීමේ මහා පරිමාණ ජාවාරමක් මේ පිටුපස ක්‍රියාත්මක වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී පෙන්වා දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මෙම ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.














