සෞඛ්‍ය අමාත්‍යාංශයට කුලී පදනම මත ලබාගත් සත්මහල් ගොඩනැගිල්ලක කුලී චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් එම අමාත්‍යාංශයේම හිටපු ප්‍රධාන ලිපිකරුවෙකු වන ආපනශාලා හිමිකරුවෙකු ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය.
බණ්ඩාරගම පදිංචි උක්වත්තගේ ඩග්ලස් නැමැති මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ අමාත්‍යාංශ ආපනශාලා පරිශ්‍රයේදීය. 2018 වසරේ සිට අමාත්‍යාංශය භාවිත කළ ගොඩනැගිල්ලක කුලී මුදල් ගෙවීමේදී, රුපියල් ලක්ෂ 25 බැගින් වූ අවස්ථා කිහිපයකදී මෙම අල්ලස් මුදල් චෙක්පත් 7ක් මගින් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. 2023 සිට 2025 දක්වා කාලය තුළ මෙම මූල්‍ය වංචාව සිදුව ඇති අතර සැකකරු එම චෙක්පත් වෙනත් පුද්ගලයන් හරහා බැංකු මගින් මාරු කරගෙන ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය.
විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බැවින් සහ සාක්ෂිකරුවන්ට සැකකරුගෙන් බලපෑම් එල්ල විය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා පිළිගත්තේය. සිද්ධියට අදාළ විමර්ශන ප්‍රගතිය එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අල්ලස් කොමිසමට නියෝග කෙරිණි.














