විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමේ කුරුණෑගල දිස්ත්‍රික් වැඩසටහන අද (06) නිල වශයෙන් ආරම්භ කෙරුණි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 30 වනදා ආරම්භ කරන ලද මෙම ජාතික වැඩපිළිවෙළ, කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන අංශ තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම සමාරම්භක අවස්ථාව අමාත්‍ය ආනන්ද විජේපාල, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (05) දිනයේ පමණක් වැටලීම් 1,035ක් සිදුකර පුද්ගලයින් 1,030ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් 11 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර එක් අයෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත. එහිදී හෙරෝයින් ග්‍රෑම් 264ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 778ක් සහ හෂීෂ් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 670කට අධික ප්‍රමාණයක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනය තුළ පුද්ගලයින් 28,308 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 617 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වූවන් අතර වරෙන්තුකරුවන් 205ක් සහ විවෘත වරෙන්තුකරුවන් 145ක් සිටින බව පොලිසිය පවසයි. මීට අමතරව රථවාහන වැරදි සම්බන්ධයෙන් ද දැඩිව නීතිය ක්‍රියාත්මක කර ඇති අතර බීමත් රියදුරන් 169ක් සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ 48 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.














