කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් අද (06) පවත්වා තිබේ. මෙරට කාර්මික අංශය සතු විභවතාවන් සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා කර්මාන්ත ක්ෂේත්‍රය ලබා දෙන දායකත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SME) මුහුණ දෙන ගැටලු සහ ඔවුන් නගාසිටුවීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු පිළිබඳව අමාත්‍යවරයා එහිදී නියෝජිත පිරිස දැනුවත් කළේය.
ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ කාර්මික අංශයේ වර්ධනය කෙරෙහි ඇති වැදගත්කම IMF නියෝජිතයන්ගේ ඇගයීමට ලක්විය. නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනේදී පවතින බාධක ඉවත් කිරීම, අපනයන ක්‍රියාවලිය සරල කිරීම සහ විදේශීය ආයෝජන සඳහා හිතකර වටපිටාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සමගාමීව දේශීය කර්මාන්තකරුවන්ට ලබාදිය හැකි සහන සහ මූල්‍ය පහසුකම් පිළිබඳව ද දෙපාර්ශවය අතර සාකච්ඡා වූ බව අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළේය.














