ශ්‍රී ලංකාවේ 15 වන ජන හා නිවාස සංගණනයට (2024) අදාළ අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහත්මිය විසින් අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. සංගණන ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික මට්ටමේ දත්ත රැස්කිරීම සඳහා ටැබ්ලට් පරිගණක 15,000ක් සහ සුහුරු ජංගම දුරකථන භාවිත කිරීම මෙහි ඇති විශේෂත්වයයි. මෙම ඩිජිටල් ක්‍රමවේදය හේතුවෙන් දත්ත රැස්කිරීමේ වේගය සහ නිරවද්‍යතාව ඉහළ නැංවීමටත්, දත්ත විශ්ලේෂණය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමටත් හැකි වූ බව සඳහන් වේ.
සංගණන ආඥාපනත යටතේ ක්‍රියාත්මක වූ මෙම දැවැන්ත ජාතික මෙහෙයුම සඳහා රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් දායක වී ඇත. මෙහි ‘සංගණන මොහොත’ ලෙස 2024 දෙසැම්බර් 19 වන දින මධ්‍යම රාත්‍රිය සලකා ඇති අතර, වාර්තාව මගින් මෙරට ජනගහන වර්ධනය, දිස්ත්‍රික් මට්ටමින් ජනගහන ව්‍යාප්තිය සහ නිවාස ඒකක පිළිබඳ සවිස්තරාත්මක දත්ත සපයයි. රටේ ඉදිරි සංවර්ධන ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කිරීමේදී මෙම මූලික ජාතික ලේඛනය රජයට මෙන්ම සෙසු ආයතනවලට ද අතිශය වැදගත් වනු ඇත.
අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීම නිසා පෙර සංගණනවලට වඩා පුළුල් පරාසයක තොරතුරු රැස් කිරීමට සහ වඩාත් ගැඹුරු විශ්ලේෂණයක් සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණු බවයි.














