ඕස්ට්‍රේලියාවේ ජීවත්ව සිටින ඉහළම ගෞරව සම්මානලාභී හිටපු සෙබළෙකු වන බෙන් රොබට්ස්-ස්මිත් (Ben Roberts-Smith), ඇෆ්ගනිස්ථාන යුධ සමයේදී සිදුකළ බව කියන යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් සිඩ්නි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 2013 වසරේදී හමුදාවෙන් විශ්‍රාම ලැබූ ඔහුට එරෙහිව නිරායුධ ඇෆ්ගනිස්ථාන වැසියන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු යුද අපරාධ චෝදනා පහක් එල්ල වී ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර 2023 වසරේදී පැවති නඩු විභාගයකදී ද මොහු විසින් නිරායුධ පුද්ගලයන් පිරිසක් ඝාතනය කළ බවට කරුණු තහවුරු වී තිබුණද, 47 හැවිරිදි රොබට්ස්-ස්මිත් තමාට එරෙහි සියලු චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර සිටියි.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය තහවුරු කර ඇති පරිදි, 2009 සහ 2012 වසර අතර කාලසීමාව තුළ ඇෆ්ගනිස්ථානයේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවේ පසුවූ නිරායුධ පුද්ගලයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම හිටපු සෙබළාට එරෙහිව අද දින අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය. ඕස්ට්‍රේලියානු විශේෂ ගුවන් බලකායේ (SAS) හිටපු කෝප්‍රල්වරයෙකු මෙන්ම වික්ටෝරියා ක්‍රොස් (Victoria Cross) සම්මානයෙන් පිදුම් ලැබූ ඔහුට එරෙහි මෙම ක්‍රියාවලිය, එරට ප්‍රභූ හමුදා ඒකක විසින් ඇෆ්ගනිස්ථානයේදී සිදුකළ බව කියන නීති විරෝධී ඝාතන පිළිබඳව කෙරුණු පුළුල් විමර්ශනවල (Brereton Report) තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.














