අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවැත්වෙන 59 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට (08) සහ අනිද්දා (09) යන දෙදින පුරා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සුවිශේෂී සංස්කෘතික හා ආගමික උත්සවය සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් විශාල ගොවි ජනතාවක් සහභාගී වීමට නියමිත බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අටමස්ථානාධිපති, නුවරකලාවිය ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ආගමික වතාවත් සිදුකෙරෙන අතර, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ඇතුළු ආයතන රැසක් එක්ව මෙම උළෙල සංවිධානය කර ඇත. කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්වන මෙම මංගල්‍යයේදී, මෙවර අස්වැන්නෙන් ලබාගත් ප්‍රථම සහල් කොටස බෝ සමිඳුන් වෙත පූජා කරමින් රටට සෙත් පැතීම සිදුකෙරේ.














