බංග්ලාදේශය පුරා මේ වන විට වේගයෙන් පැතිර යන මීසල්ස් සහ රුබෙල්ලා රෝගී තත්ත්වය හේතුවෙන් ගතවූ මාසයකට අඩු කාලය තුළ ළමුන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම හදිසි තත්ත්වය පාලනය කිරීම සඳහා එරට රජය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ යුනිසෙෆ් (UNICEF) ආයතනය සමඟ එක්ව හදිසි එන්නත්කරණ වැඩසටහනක් පසුගිය ඉරිදා ආරම්භ කර තිබේ.
නිල දත්තවලට අනුව මාර්තු 15 වනදා සිට මේ දක්වා මීසල්ස් වැළඳී ඇති බවට සැකකෙරෙන රෝගීන් 7,500ක් වාර්තා වී ඇති අතර ඉන් 900ක් ස්ථිරවම හඳුනාගෙන ඇත. මෙහි වඩාත්ම අවදානම් සහගත තත්ත්වය වන්නේ මෙතෙක් එන්නත් ලබා නොදුන් සහ වයස මාස 9ට අඩු බිළිඳුන් අතර රෝගය ව්‍යාප්ත වීමයි. මේ වන විට අධි අවදානම් සහිත දිස්ත්‍රික්ක 18ක වයස මාස 6 සිට අවුරුදු 5 දක්වා දරුවන්ට එන්නත් ලබා දීම ආරම්භ කර ඇති අතර, ලබන මාසයේ සිට එය රට පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය.
බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍ය සර්දාර් මොහොමඩ් සකාවත් හුසේන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පසුගිය රජයන්හි කළමනාකරණ දුර්වලතා හේතුවෙන් මෙම රෝගය මෙලෙස දරුණු ලෙස පැතිර ගොස් ඇති බවයි. වාතය මගින් වේගයෙන් පැතිරෙන මෙම රෝගය මර්දනය කිරීමට නම් ජනගහනයෙන් සියයට 95ක් එන්නත් ලබාගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.














