ලෝකය පුරා වර්තමානයේ සිදුවන යුද ගැටුම් විශ්ලේෂණය කිරීමේදී ගුවන් පථ, තෙල් ගබඩා සහ පතොරම් ගබඩා ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර හමුවේ පාලනය කළ නොහැකි මහා ගිනි ජාලාවන් ඇති වීම ප්‍රධාන අභියෝගයක් වී තිබේ. විශේෂයෙන්ම ඇමෙරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ මෙහෙයුම් හමුවේ ඉරානයේ තෙල් පිරිපහදු සහ පතොරම් ගබඩා දැවී යද්දීත්, රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනයේ බලශක්ති පද්ධති විනාශ වෙද්දීත්, එම ගිනි නිවීමට මිනිස් ශ්‍රමය යෙදවීම අතිශය අවදානම් සහගත වී ඇත. මෙම මාරාන්තික “කාල රාමුව” (Window) තුළ ක්‍රියාත්මක වීමට ඉන්දීය ගුවන් හමුදාව (IAF) සිය දේශීය රහස් අවියක් වන ‘FF Bot’ (Fire Fighting Bot) භාවිත කිරීමට සැලසුම් කර තිබේ.
මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කර ඇත්තේ මිනිස් ජීවිතවලට දැඩි අවදානමක් පවතින, ද්විතීයික පිපිරීම් (Secondary Detonations) සිදුවිය හැකි ගිනි කලාප වෙත ඍජුවම ඇතුළු වී ක්‍රියාත්මක වීමටයි. ඉරානයේ ටෙහෙරාන් නුවර තෙල් ගබඩා සති පහක් තිස්සේ දැවෙද්දී සහ යුක්රේනයේ සෘණ 20°C අධික ශීතල මධ්‍යයේ විදුලි බලාගාර ගිනි ගනිද්දී සහන කණ්ඩායම් මුහුණ දුන් අසීරුතා සැලකිල්ලට ගනිමින් මෙම තාක්ෂණය වැඩිදියුණු කර ඇත. මිනිසුන්ට ළඟා විය නොහැකි අධික උෂ්ණත්ව සහිත පරිසරයක වුවද අඛණ්ඩව ගිනි නිවීමේ කටයුතුවල නිරත විය හැකි වීම ‘FF Bot’ හි ඇති සුවිශේෂත්වයයි.
මෙම ස්වයංක්‍රීය රොබෝ පද්ධතිය හරහා යුධමය තත්ත්වයකදී සිදුවන දේපළ හානි අවම කර ගැනීමටත්, ගුවන් හමුදා යටිතල පහසුකම් කඩිනමින් යථා තත්ත්වයට පත් කර ගැනීමටත් හැකි වනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















