අද (07) පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභා වාරය නිල වශයෙන් ආරම්භ විය. අද දින විවාදයට ගැනීමට නියමිත කරුණු අතර ක්‍රීඩාවලදී උත්තේජක ද්‍රව්‍ය භාවිතයට එරෙහි සම්මුති පනත යටතේ වන නියෝග, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතට අදාළ නියෝග සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ වන රීති ප්‍රධාන තැනක් ගනී.
මීට අමතරව, පසුගිය මාර්තු 17 වනදා පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලද දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත යන වැදගත් පනත් කෙටුම්පත් ද්විත්වය අද දින දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබේ. රටේ ආර්ථික සහ නීතිමය ක්ෂේත්‍රයට බලපාන තීරණාත්මක සංශෝධන කිහිපයක් පිළිබඳව අද දවසේදී මහජන නියෝජිතයන්ගේ අවධානය යොමු වනු ඇත.













