පසුගිය ජනවාරි මාසයේදී උතුරු කොරියාවට ඩ්‍රෝන යානා යැවීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් (Lee Jae Myung) මහතා පළ කළ කනගාටුවට, උතුරු කොරියාව විසින් දක්වන ලද දුර්ලභ සුබවාදී ප්‍රතිචාරය හමුදාමය ආතතිය ලිහිල් කිරීමේ “අර්ථාන්විත ප්‍රගතියක්” බව දකුණු කොරියානු එක්සත් කිරීමේ අමාත්‍යාංශය (Unification Ministry) අද (07) ප්‍රකාශ කළේය.
උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය වන කිම් යෝ ජොං මහත්මිය, දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ මෙම සමාව අයැදීම “ඉතා වාසනාවන්ත සහ බුද්ධිමත් ක්‍රියාවක්” ලෙස හඳුන්වා තිබුණි. වසර ගණනාවක් තිස්සේ පැවති දැඩි වාග් ප්‍රහාරවලින් බැහැරව මෙවැනි මෘදු භාෂාවක් භාවිත කිරීම දෙරට අතර සබඳතාවල යහපත් හැරවුම් ලක්ෂ්‍යයක් විය හැකි බව දකුණු කොරියාව විශ්වාස කරයි.
සංහිඳියාව සහ සාමකාමී සහජීවනය උදෙසා උතුරු කොරියාවට එරෙහි ඕනෑම සතුරු ක්‍රියාවකින් වැළකී සිටීමේ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරන බව දකුණු කොරියානු රජය වැඩිදුරටත් අවධාරණය කර ඇත. කෙසේ වෙතත්, උතුරු කොරියාව තවමත් දකුණ කෙරෙහි යම් සැකයකින් පසුවන බවත්, අනවශ්‍ය සම්බන්ධතා පැවැත්වීමට උත්සාහ නොකරන ලෙස දන්වා ඇති බවත් විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.















